gossiplanka image 1
 

අපේ සංස්කෘතියට දේව සංකල්පය කීප ආකාරයකින් ළඟා වූ බව පෙනේ. හිරු සඳු වැනි ග්‍රහයන් ද සුළඟ, වැස්ස  වැනි ස්වභාවික සිදුවීම් ද දෙවිවරුන් ලෙස කල්පනා කොට ඒ මගින් මවා ගන් දේව සංකල්පය ඉන් එකකි. මෙය ඉන්දියාවේ වෛදික යුගය දක්වා ඈතට විහිද ගිය එකක් වුවත් අදත් සමහර මිනිසුන් එම ස්වභාවික වස්තු දෙවියන් කොට සලකන අවස්ථා දක්නට ලැබේ. අහසේ ග්‍රහයන් දෙවියන් වශයෙන් සලකා පිදීම, (ග්‍රහ පූජා). ලෞකික සම්පත් පතා බෝධි පූජා පැවැත්වීම වැනි අවස්ථා ඊට නිදසුන් වෙයි. දෙවනුව දේව සංකල්පය අපේ ගැමියන් වෙතට අවුත් ඇත්තේ හින්දු ආගම ඔස්සේ ලක්දිවට පැමිණි දෙවිවරුන් මගිනි. විෂ්ණු, කතරගම වැනි දෙවිවරු ඒ අතර වෙති. තුන් වෙනුව දෙවිවරුන් පහළ වීමට මෙලොව ජීවත් වූ ප්‍රභූන් හේතු විය. ජනතාවට අමතක නොවන සේවයක් කොට මිය ගිය වැදගත් පුද්ගලයන් දේවත්වයේ ලා සැලකීමට එදා ජනතාව පෙළඹී ඇත. සමන්, බොක්සල්, රංවල, මොරටු, අයියනායක ආදී දෙවිවරුන් එම කොටසට අයත් ය."

සතර වෙනුව දෙව්ලොව වසන දෙවියන් පිළිබඳ සංකල්පය බලපා ඇත. ඉහළ ආකාසයේ පිහිටි සියලු යස ඉසුරෙන් පිරි තැනක් ලෙස දෙව් ලොව ගැන සලකන අතර එහි වාසය කරන්නේ දෙවිවරුය. පස් වෙනුව මෙම මිනිස් ලොව විශාල ගස්, ගල් පර්වත ආදියෙහි වැඩ වාසය කරනවා යයි සැලකෙන දෙවිවරුන් සම්බන්ධ කරගෙන පැතිර ඇති දේව සංකල්පයයි.මෙම සියලු ආකාරවලින් ම ගණන් බලන විට තිස්තුන් කෝටියක් පමණ දෙවි දේවතාවුන් වැඩ වාසය කරන බව පිළිගැනේ. පොදු වශයෙන් සලකන කල ජනතාව අතර දෙවිවරුන් සම්බන්ධයෙන් පහත සඳහන් ආකාරයේ විශ්වාස පැතිරී ඇත.


1. දෙවියෝ මනුෂ්‍යයන්ට පිහිට වීමට කැමැත්තෙන් සිටිති


හව්හරණක් නොමැති පිහිටට කෙනෙක් නැති අයවලුන්ට පිහිටට සිටින්නේ දෙවියන් පමණ ය. දෙවියන්ගේ පිහිටයි ගැමියන්ගේ මුවග නිතර රැඳී ඇති පැතුමකි.


2. දෙවියෝ කෝප වූ විට ලෙඩ කරති


දෙවියන් අසතුටු දෙයක් කළොත් එම තැනැත්තාට දඩුවම් වශයෙන් ලෙඩ ඇති කරවීම දෙවියන්ගේ සිරිත ය. එසේ සාදන ලෙඩ දෙවියන්ගේ ලෙඩය. පැපොල, සරම්ප, කම්මුල්ගාය, පෙරදී නම් වසූරිය වැනි ලෙඩ එම වර්ගයට අයත්ය. පැහැදිලි හේතුවක් නොපෙනෙන ලෙඩ ඊට අයත් වේ. හිටිහැටියේ සෑදී තවත් අයට බෝවන ලක්ෂණ ඒවායේ ඇත. වෛද්‍ය විද්‍යාවට අනුව නම් වෛරස මගින් සෑදෙන ලෙඩ මීට අයත් ය.


3. දෙවියන්ගේ ලෙඩ සෑදුණු විට බාරහාර වීමෙන් ඒවා සුව වේ.


දෙවියන්ගේ ලෙඩට බෙහෙත් නැත. එබැවින් ගැමියන්ට කළ හැකි එකම දෙය වූයේ පිහිට ඉල්ලා දෙවියන්ට බාර වීම ය.


4. ලෙඩ සඳහා දෙවියන්ට බාරවී එය සුව වූ විට බාර ඔප්පු කළ යුතු ය.


බාර ඔප්පු කළ යුත්තේ බාර වන අවස්ථාවේ පොරොන්දු වූ ආකාරයටය. දේවාලයට ගොස් දෙවියන්ට දීමට පොරොන්දු වූ පරිදි පුද පූජා දීම එක් ක්‍රමයකි. ගම්මඩු වැනි ශාන්තිකර්මයක් කිරීම තවත් ක්‍රමයකි.


5. දෙවියන්ට කන්නලව් කිරීමෙන් සිතුම් පැතුම් ඉටු කර ගත හැකි ය.


වැස්ස ලබා ගැනීම, පලදාව සරුකර ගැනීම, වාසනාව ළඟාකර ගැනීම වැනි කරුණු ගැන පමණක් නොව විභාග සමත් කර ගැනීම, ලොතරැයි දිනුමක් ලබා ගැනීම වැනි කාරණාවලදී පවා දෙවියන්ගෙන් පිහිට ඉල්ලා පුද පූජා පැවැත්වීමෙන් ඉටුකර ගත හැකි යයි විශ්වාස කරති. කතරගම දෙවියන්ට බාර වීමෙන් රථ වාහන රැක ගත හැකිය යන විශ්වාසය ද වර්තමානයේ දක්නට ඇත.


6. පිං දහම් කිරීමෙන් දෙව්ලොව දෙවියකු ලෙස ඉපිද සැප විඳිය හැකි ය.


බෞද්ධ සාහිත්‍යයේ එන මට්ටකුණ්ඩලී කතාව, ධම්මික උපාසකගේ කතාව,ගුත්තිල පඬිතුමා දෙව්ලොව යාමේ කතාව වැනි කතාවලින් මෙබඳු විශ්වාසයකට මග පෑදී ඇති අතර ගමරාළ දෙලොව යාම වැනි ජනකතාවලින් ද මෙයට රුකුල් ලැබී ඇත. මෙම විශ්වාසය කෙතරම් තදින් බලපා ඇද්දැයි කීවොත් සමහර බෞද්ධයන් පතන්නේ නිවන් අවබෝධ කරගැනීමට නොව දෙව් ලොව ගොස් දෙවියකු වී සැප විඳින්නටය.


7. විශාල ගස්වල රුක් දෙවිවරු වැඩ සිටිති.


මෙම විශ්වාසය ද වෘක්ෂ වන්දනාව පැවති වෛදික සමයේ සිට පැවත එන්නක් බව පෙනේ. දුටුගැමුණු පුරාවෘතයේ එන රත්නමාලී නම් රුක් දෙවියගේ කතාව වැනි කතා ඇසුරින් මෙම විශ්වාසය විකාශනය වී ඇත. ගස්වල රුක් දෙවිවරුන් සිටින්නේ ය යන විශ්වාසය අනුව කටයුතු කළ පැරණි ගැමියෝ ගසක් කැපීමට අවශ්‍ය වූ විට එම ගසේ කුඩා අත්තක් කපා ඊට ආසන්න ගසක් ළඟට ගොස් එහි එලා කැපීමට නියමිත ගසේ සිටින රුක් දෙවියන්ට අන්න එල්ලූ ගසට වඩින ලෙස ආරාධනා කරති. එයින් පසු නියමිත ගස කපයි. මෙම චාරිත්‍රය ගැන ආනන්ද කුමාරස්වාමි මහතා ද දක්වා ඇත."


බහිරවයා


බහිරවයා දෙවියකු ද එසේ නැත්නම් යකෙකු ද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් මිනිසුන් බහිරවයා ගැන විවිධ විශ්වාස ඇති කරගෙන ඇත. පොළොවේ ඇති දේ ආරක්ෂ කරන්නේ බහිරවයා යයි විශ්වාස කරති. විශේෂයෙන් නිධාන රැකීමේ යෙදී සිටින්නේ බහිරවයාය. පොළොවේ වැළලී ඇති දේ ලබා ගැනීමට බහිරවයාට පූජා පැවැත්විය යුතු බව කියති. මැණික් ගරන්නන් මේ අදහස තදින් විශ්වාස කරන බව පෙනේ. ඔවුන් මැණික් ගැරීම ආරම්භ කිරීමට පළමු බහිරව පූජා පැවැත්වීමට අමතක නොකෙරේ.


මෝහිණිය


මෝහිණිය ගැන ද මිනිසුන් අතර විවිධ විශ්වාස පවතී. මෝහිණිය රූමත් තරුණියකගේ වෙස් ගත් අමනුෂ්‍ය අවතාරයකි. මිනිසුන්ගේ සිත් බිය කිරීමෙන් හා සසල කිරීමෙන් ඔවුන් කම්පනයට පත් කොට ලෙඩ කරවීමට උත්සාහ ගන්නා හොල්මන් හෙවත් අවතාර නමින් හැඳින්වෙන දෙයක් ඇතැයි මිනිසුන් අතර විශ්වාසයක් පවතී. ඒවායේ ස්වභාවය දෘෂ්‍යමාන වී ටික වේලාවකින් නැතිව යාමය. මෝහිණියද එබඳු තැනැත්තියක ලෙස සැලකේ. තනිවම රාත්‍රී කාලයේ ගමන් යන පිරිමින්ට දරුවකු වඩාගෙන ඉදිරියට එන තරුණ ගැහැනියක ලෙස මෙම අවතාරය පෙනී සිටින බව කියති. තම දරුවා මඳකට වඩා ගන්නා ලෙස ඉල්ලා සිටින එම මෝහිණිය පිරීමියාගේ අතට දරුවා දී පලා යයි. මඳ වේලාවකින් අතට ගත් දරුවා ද අතුරුදන් වෙයි. සිද්ධියට මුහුණ දුන් තරුණයා ඉන් පසු ලෙඩ වෙයි. සඳ පහන් ඇති රාත්‍රියේ හුදකලාව ඉඳ බටනළා වාදනය කරන විට මෝහිණිය ආවේශ වන්නේ යයි විශ්වාසයක් ඇත. කෙනෙකුගේ සිතේ ඇති වන රාග චේතනා අනුව පහළ වන මනෝමය ස්වභාවයක් මෙයින් හෙළි වෙතැයි සිතිය හැකිය.